arrow_drop_down_circle

වහරක අභයරතනාලංකාර මහ තෙරුන්වහන්සේ

මෙතෙක් ආ දිගු ගමන පිළිබඳ ඉතා කෙටි සටහනක්

කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිගම්පල් කෝරළයේ මෙගොඩගොඩ පත්තුවට අයත් රුවන්වැල්ල ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ වහරක ගෝනගල්දෙණිය නැමැති සුන්දර ගම්මානයේ ජීවත් වූ වීරසිංහ ආරච්චිගේ හේරත් පෙරේරා සහ වීරසිංහ ආරච්චියේ දෝන එංගනෝනා යන දෙමාපියනට පිරිමි දරුවන් දෙදෙනෙකු ද එක් ගැහැණු දරුවකු ද වූහ.

පිරිමි දරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු 1950 වසරේ ජූලි මාසයේ එක්තරා දිනයක දී මෙලොව එළිය ලබයි. ඔහු නමින් වීරසිංහ ආරච්චිගේ අබේරත්න නම් වෙයි.

දෙමාපිය සෙවණේ හැදී වැඩෙන මෙම දරුවා පාසල් අධ්‍යාපනය ලැබීමට සුදුසු වයස එළඹෙද්දී වහරක මහා විද්‍යාලයට ඇතුළත් වෙයි. එම විද්‍යාලයේ පූර්ව ජ්‍යෙෂ්ඨය හොඳින් සමත් වූ ඔහු වයස අවු: 18 දී "තුල්ටෙක්ස්" නමින් හැඳින් වූ තුල්හිරිය පේශකර්ම ආයතනයේ සේවා නියුක්තිකයෙකු වෙයි. 1985 වසර දක්වා ම පූගොඩ පේශකර්ම ආයතනයේ සේවාවෙහි යෙදී ඇති අතර, ඒ කාලසීමාව තුළ යම් යම් භාවනා ම ය අත්දැකීම් තුළින් නැගුණු අධ්‍යාත්මික ශක්තියක් ද ගොඩනැගී තිබූ බැවින්, 1985 වසරේ දී තම රැකියාවට සමුදීමට තීරණය කැර ඇත.

1986 වසර තම මනෝමය ශක්තිය උපයෝගී කැරගෙන අධ්‍යාත්මික භෞතික වශයෙන් විද්‍යමානකැර ලොවට හෙළි දක්වන කාලසීමාවේ ආරම්භය යැයි කීවොත් එය නිවැරැදි ය.

බුදු දහමේ පෙන්වා දී තිබෙන්නේ ධ්‍යාන, සමාධි ආදී ක්‍රම තුළින් අධ්‍යත්මික ශක්තිය වර්ධනය කැරගත් කෙනෙකුට යම් යම් විශේෂ හැකියාවන් ලැබීමේ ශක්තිය පිහිටන බව යි.

ඒ අනුව තවමත් ගිහිවතේ සිටින, අපේ කථාවේ නායක අබේරත්න මහතාණන් වෙතින් ද යම් යම් ගුප්ත හැකියාවන් ක්‍රමයෙන් බලගැන්විණි. එයට ම තවත් හේතුපාදක වූ ජන්ම කුශල මූලයන් ද බලපා ඇත.

එයට හේතු පාදක වූ කථා මූලයේ අතීතාවර්ජන කථා සාරාංශය මෙසේ ය.

අනන්ත සසරේ එනවිට සමහර පින්වතුන්ගේ විවිධ යහපත් ප්‍රාර්ථනා තිබෙනවා. ඒ අනුව ලොවුතුරා බුදුවරයෙකු වීමට වාග් ප්‍රණිධාන, මනෝ ප්‍රණිධාන විසි අසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් පාරමී දම් පුරා තවත් සම්මා සම්බුදුවරයෙකුගෙන් නියත විවරණ ගත යුතු වෙයි. නියත විවරණ ගත් පසු ප්‍රඥා අධික බෝසතාණන්වහන්සේ නමකට සාරසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් පාරමී දම් පිරිය යුතු වෙයි. ඒ වගේ ම ශ්‍රාවක පාරමීතා පුරන උතුමන්ට ඒ ඒ තත්ත්වයන්ට පත්වීමට එවැනි පෙරුම් පිරිය යුතු වෙනත් කාලසීමාවන් ද පවතින බව ධර්‍මයේ දැක්වෙයි.

ඒ අනුව කෙනෙකු සක්විති රාජ්‍යත්‍වය බලාපොරොත්තුවෙන් ද, කිසියම් රටක රාජ්‍ය නායක තනතුර ලබාගැනීමට ද පෙරුම් පුරන්නෝ සිටිය හැකි වෙත්. ඒ අතර, ලෝකෝත්තර පැතුම් අරමුණු කරගෙන ලොව්තුරා සම්මා සම්බුද්ධ වීමටත්, පච්චේක බුද්ධ වීමටත්, අග්‍රශ්‍රාවක වීමටත්, අසූමහා ශ්‍රාවක වීමටත්, පෙරුම් පුරන උතුමෝ ද ලෝ සතුන් අතර වෙති.

එසේ ම බුද්ධ ශාසනයක් පිරිහී යන කාලයක නිර්මල බුදුදහම ලොවට මතුකර නැවැත නගා සිටුවන්නට ශ්‍රාවක පාරමිතා පිරූ උත්තමයින් ද වරින් වර ලොව පහල විය හැකි ය.

වර්තමානය වන විට ද බුදුදහමේ යම් යම් අර්ථ විපරිතයන් ට ලක්වීමෙන් නිර්මල බුදුදහම යටපත් වී ඇත. එසේ යටපත් වී ඇති නිර්මල බුදුදහම නැවත මතුකරලීමේ උතුම් අභිලාශයෙන් වහරක අබේරත්න මහතාණන්ටත් අනන්ත වූ සසර ගමනේ පින් රැහැන තුළ එක්තරා අවධීන් 2 ක දී එවැනි උතුම් ප්‍රාර්ථනාවන් දෙකක් පහල වී ඇති අතර, එය දැනට අප කියවා ඇති ත්‍රිපිටකාශ්‍රිත හෝ වෙනත් ග්‍රන්ථයකින් උපුටාගත නොහැක්කේ ඒ සියලු දත්ත භාවනාවේ සමාධි අවස්ථාවේ එක්තරා කඩඉමක දී මනසට ගෝචර වූ අත්දැකීමක් නිසාවෙනි.

පළමු ප්‍රාර්ථනාව දිගහැරෙන්නේ දීපංකර බුදුපියාණන්වහන්සේගෙන් ගෞතම බුදුපියාණන්වහන්සේ සුමේධ නම් තාපස ව ඉපි ද නියත විවරණ ගන්නා කාලසීමාවේ දී තමන් (අබේරත්න මහතාණන්) තම යහළුවෙකුත් සමඟ ගොවිතැන් කටයුතු කරන ගොවියන් ලෙස ඉපැදීමෙනි.

සුමේධ තාපසතුමා ගෞතම බුදුන් ලෙස බුද්ධත්වය ලැබීමට දිපංකර බුදුරජාණන්වහන්සේගේ පාදමූලයේ බිම දිගාවී නියත විවරණ ගන්නා ලෝ කම්පනයවන ඒ උතුම් මොහොතේ තමන් සහ තම යහළුවා ද එය දැක මහත් සතුටින් ප්‍රමෝදයට පත් ව තමන් හා දෙදෙනා ම අනාගත ප්‍රර්ථනාවක් කරන්නෙ මැ යි සිතමින් ප්‍රාර්ථනාවන් කැර ඇති අතර, එය දීපංකර බුදුපියාණන්වහන්සේ දැනගෙන ඒ මොහොතේ විස්තර කැර තිබෙන්නේ දෙදෙනා ම අනාගත බුද්ධ ශාසනයක දී විශේෂ පුද්ගලයින් වන බව යි.

දෙවන අවධිය දිග හැරෙන්නේ, එනම්, ගෞතම බුදුරජාණන්වහන්සේගේ සිට ආපසු පසු පසට ගත්විට එනම්, කාශ්‍යප, කෝණාගමන ආදී වශයෙන් බුද්ධාන්තර 10 ක දී හෝ අටවිසි බුදුවරුන්ගේ නාමයෙන් තණ්හංකර බුදුපියාණන්වහන්සේගෙන් ආරම්භ ව මේධංකර, සරණංකර ආදී බුද්ධාන්තර 18 කට පසු ව 19 වැනි බුද්ධාන්තරයේ දී කිණිහිරි බෝධියට පිට දී සම්මා සම්බුද්ධත්‍වයට පත්වූ සිද්ධාර්ථ නම් සම්මා සම්බුදුපියාණන්වහන්සේගේ කාලයේ දී ප්‍රාර්ථනා පරිදි ලබාගත් ශ්‍රාවක පාරමිතාවක් වශයෙනි.

ඒ කාලසීමාවේ දී මහා සිටුවරයෙකු වශයෙන් ඉපිද සිටිය දී සිද්ධාර්ථ බුදුපියාණන්වහන්සේ ප්‍රමුඛ ශ්‍රාවක මහරහතන්වහන්සේ ලෝක සත්‍වයාට කරන මහා සේවාව දැක තමන්ටත් ශාසනය වෙනුවෙන් මෙවැනි අති උදාර සේවාවක් කිරීමට හැකිනම් යනුවෙන් අදහස් පහල වී, ඒ අනුව ලොව්තුරා බුදු කෙනෙකුගේ දහම පිරිහී යටපත් ව යන කාලයක එය නැවත නගා සිටුවීමේ අදහසින් සුදු නෙළුම් මලේ හැඩයට සෑදූ කිරිබත් කැට ලක්‍ෂයකින් සමන්විත කිරිපිඬු දානයක් නෙළුම් මල් සුවඳින් සාදා සිද්ධාර්ථ බුදුහිමියන් ප්‍රමුඛ මහරහතන්වහන්සේ වෙනුවෙන් පුරා දින හතක් තිස්සේ මෙම ප්‍රාර්ථනාව හිතේ තබාගෙන දානය පිළිගන්වා ඇත.

එසේ සත් දින අවසානයේ කිරිපිඬු දානය පූජා කැර තම අභිමත ප්‍රාර්ථනාව හිතේ තබාගෙන බුදු සිරිපා පියුමට පසඟ පිහිටුවා වඳිනවාත් සමඟ ම "දරුව ඔබගේ ඔය ප්‍රාර්ථනාව ඉටුවන කාලයක් මතු උදාවෙයි., ඒ සඳහා වීර්යය, බලය ගන්නාවිට සිතිවිලි වැඩෙන්නේ යැ" යි කියමින් මහා බුද්ධාශිර්වාදයක් සිදුකොට ඇත.

ඒ පාරිශුද්ධ වූ ප්‍රාර්ථනය මල්ඵල ගැන්වීමේ අදහසින් ප්‍රථම මංගල බෝධි පූජාව පොල්ගහවෙල උඩපනලිය ගෝඨාභය රජමහා විහාරයේ දී ආරම්භ විය. ඒ අනුව ආරම්භ වූ මෙම සෙත් ශාන්ති බෝධි පූජා ම ය ප්‍රතිකාර ක්‍රමය ක්‍රමයෙන් ගිජිදාගම, මීරිගම කලුගල්ලෙන ආරණ්‍යය, මීරිගම කලුඅග්ගල විහාරය යන ස්ථානවල දී ද හුණුමුල්ල ආදී තැන්වලට ද ව්‍යාප්ත විය.

මෙම සෙත්ශාන්ති ක්‍රමයත් සමඟ පහල වූ විශේෂ ශක්තීන් 4 ක් බලගැන්වී ඇත. එසේ බලගැන්වුණු ශක්තීන් වනුයේ,

1. ලෝකයේ පරිණාමය
2. සත්ත්වයාගේ පරිණාමය
3. සත්ත්වයාගේ ලෙඩරෝග
4. සත්ත්වයාගේ කර්ම ශක්තිය යන්න යි.

සමාධිගත ව සිටින අවස්ථාවක දී මෙම කරුණු 4 ට අදාළ ව පොත්ගුල් 4 ක් නියෝජනය කරමින් යතුරු 4 ක් තම සුරත මත දෘශ්‍යමාන වී ඇත.

මෙයින් සත්ත්වයාගේ ලෙඩරෝග ලෙස දෘශ්‍ය වූ යතුර මගින් සමාධි ම ය බෙහෙත් ඖෂධ දීමේ හැකියාව ද

සත්ත්වයාගේ කර්ම ශක්තිය ලෙස දෘශ්‍ය වූ යතුර මගින් ලෙඩරෝග සෑදීමට නිධානය වූ හේතු සාධක ඉස්මතු වීම ද දැක්විය හැකි ය.

සත්ත්වයාගේ පරිණාමය යන යතුරින් සංකේත වූයේ සත්ත්වයා පෙර භවයක යම් අවස්ථාවක ආරම්භ ව මේ භවයේ මරණය කරා යාමේ දී හා ඉන් අනතුරු ව කෙසේ සිදුවෙමින් ගලා යන්නේ ද යන්න දැකීමේ හැකියාව යි.

ලෝක පරිණාමය යන පොත්ගුලට අදාල යතුරින් සංකේතවත් කරන්නේ ලෝකයේ පෙර සිට වර්තමානය දක්වාත් ඉන් අනතුරුවත් පෙළගස්වා දැකීමේ හැකියාව යි.

සත්ත්වයාගේ ලෙඩරෝග හා සත්ත්වයාගේ කර්ම ශක්තිය සංකේතවත් කරමින් දෘශ්‍යමාන වූ යතුරු දෙකෙන් එයට අදාළ ව සමාධි බෙහෙත් ඹෟෂධ හා එයට කළයුතු වත්පිළිවෙත් අළලා කෙරෙන විශේෂ බෝධි වන්දනා ක්‍රමයකින් සෙත සැලසීමේ සේවාවක් ලෙස ආරම්භ වූ මෙම ශාසනික කර්තව්‍යය සැදැහැවත් පින්වතුන් අතර සීඝ්‍රයෙන් ප්‍රචලිත වන්නට වූයේ කිසිවෙකු නොසිතූ පරිද්දෙනි.

1977 වර්ෂයේ දී චන්‍ද්‍රලතා නැමැති තරුණිය සමඟ අතිනත ගත් අබේරත්න මහතාණන්ට ලසන්ති ප්‍රියදර්ශනී වීරසිංහ ලෙස දුවෙකුත් කපිල වීරසිංහ නමින් පුතෙකුත් ලබන්නෝ ය.

දුව හා පුතා අධ්‍යාපනය ලබමින් සිටින අතර වාරයේ තම අධ්‍යාත්මික සේවාව ද නොකඩවා කරගෙන යමින් සිටි අබේරත්න මහතාණන්ට 2004 වර්ෂයේ දී කිසියම් වූ පෙරළියක් ඇතුළතින් සිදුවන බවක් දැනී ඇත.

මෙම අත්භවයට අත්බැව් 4 කට පෙර පැවිදි වී එහිදී දහම් ඇස පහල වී මේ අත්භවයේ උත්පත්තිය ලබන්නේ ජාත සෝතාපන්න උතුමෙකු වශයෙනි. එහි ප්‍රතිඵලයක් වශයෙන් එය නැවත මල්ඵල ගැන්වීමේ උදාර හෝරාව 2004 දී ඉස්මතු විය.

ඒ අනුව 2004 වසරේ දී සිය ගුරු පූජෝත්තමයාණන්වහන්සේ ලෙස සියම් මහ නිකායයේ දඹදෙණි හත්පත්තුවේ ද්විතීය සංඝනායක සද්ධර්ම කීර්ති ශ්‍රී රේවත පූජ්‍ය දියකෙළිනාවල මේධංකර නායක ස්වාමීන්වහන්සේ යටතේ උතුම් පැවිදි දිවියට පත්වූයේ "වහරක අභයරතනාලංකාර හිමියන්" ලෙසිනි.

තමන් වහන්සේ පැවිදි වී නොබෝ දිනකින් තම ගිහි කළ බිරිඳ වූ චන්‍ද්‍රලතා මහත්මිය වහරක චන්‍ද්‍රකාංචනා සිල්මාතාව ලෙසත්, ලසන්ති ප්‍රියදර්ශනී දියණිය, වහරක සඳුනි කාංචනා සිල්මාතාව ලෙසත්, කපිල වීරසිංහ පුතු වහරක කලණ රතනාලංකාර හිමි ලෙසත් සියල්ලෝ ගිහි බන්ධනයෙන් මිදී උතුම් පැවිදි දිවියට පත්වූහ.

ගිහි කල තමන්ට උරුමයෙන් ලද ඉඩම වර්තමානය වන විට උතුම් පුණ්‍ය භූමියකට දායාද කොට ඇති අතර, එය නමින් වහරක ගෝනගල්දෙණිය අරියචින්තාශ්‍රම බෞද්ධ විහාරස්ථානය ලෙස හඳුන්වයි.

නායක ස්වාමීන්වහන්සේ මේ වන විට රාජ්‍ය අංශයේ මෙන් ම පෞද්ගලික අංශයේ රූපවාහිනී නාලිකා මෙන් ම ගුවන්විදුලි නාලිකා තුළින් ද විවිධ මාතෘකා ඔස්සේ ධර්‍මදේශනා පවත්වා ශ්‍රාවක හදවත් නව මාවතකට යොමුකැර ඇත. එසේ ම වහරක මූලස්ථාන කේන්‍ද්‍රයේ දී මෙන් ම ඉන් පරිබාහිර ස්ථානවල දී ද පවත්වා ඇති ධර්‍මදේශනා දහස් ගණනකි.

එවැනි දේශානාවලින් බොහොමයක් අඩංගු සංයුක්ත තැටි "නිවන් වඩන සිරි සදහම්" ලෙසින් අංක 105 ක් ද., චේතෝ විමුක්තිය, ප්‍රඥා විමුක්තිය., සුවදායක ජීවිතය, සජීවී දහම ලෙසින් තවත් සංයුක්ත තැටි පෙළක් ද නිකුත් වී ඇත.

එසේ ම කියවීමේ රුචිය ඇති අය සඳහා "ශ්‍රී සද්ධර්මයෙන් බිඳක්", "සැඟවුණු බොදු මග කල එළි දකී", "පෙරදා දෙසූ දහම්", "අධ්‍යාත්මයේ විද්‍යාව පිළිබිඹු කරන බුද්ධ වන්දනාව", "ආර්ය මෛත්‍රී භාවනාවෙන් ලබන සැනසීම", "අපි නිවන් දකිමු", "කරණීය මත්ත සූත්‍රය" හා තවත් කිහිපයක් දහම් ග්‍රන්ථ ලෙස ද නිකුත් වී ඇති අතර ඒ දහම් ග්‍රන්ථ වලින් බොහෝ දහම් පිපාසිත සිත් සතන් හි දහම් විඩාව නිමවී ඇත.

අන්තර්ජාලය හරහා දහම් ශ්‍රවණය කිරීමට ඇවැසි අය වෙනුවෙන් දහම් ගබඩාවන් අඩංගු web අඩවි 20 ක් පමණ එළි දක්වා ඇත.

ඒ වගේ ම නායක ස්වාමීන්වහන්සේ ගේ ධර්‍ම දේශනා ඇසුරින් සකස් කරන ලද හරවත් ලිපි ඇතුළත් දහම් සඟරාවක් "හෙළ බොදු පියුම" නමින් සෑම මසකම පුන් පොහෝ දින ඉතා අඩු මිලට නිකුත් වේ.

මේ සියල්ල වහරක අභයරතනාලංකාර ස්වාමීන්වහන්සේ ගේ පුණ්‍ය මහිමයේ ප්‍රතිඵල යැ යි ලොවට හඬගා කියන්නට ඇවැසි නොවේ.


දම්වරුසා දහම් ග්‍රන්ථය හා "හෙළ බොදු පියුම" දහම් සඟරාවේ 49 කලාපය ඇසුරින් සකස් කරන ලදී.

 

closechevron_left